පරාජයේ මිහිරියාව!

අනෙකාගේ සපත්තුවට බැස බලන්නැයි ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් තියෙනවා. එහි සරල අර්ථය අනෙකා විනිශ්චය කිරීමට නම් ඔහුට ඇති ප්‍රශ්න, ගැටළු, අභ්‍යන්තර අරගල සහ තත්ත්වයන් තේරුම් ගත යුතුය යන්නයි.
2026 T20 ලෝක කුසලානයත් ඉන්දියාව ජයග්‍රහණය කළා. එය කිසිවෙකුට හෝ පුදුමයක් ඇති කළේ නැහැ.
ලොව සෑම ක්‍රිකට් රසිකයෙකුගේම හදවතේ වෙනස් ප්‍රාර්ථනාවක් තිබුනත්, ඔවුන්ගේ මොළයේ නිගමනය වූයේ ඉන්දීය ජයග්‍රහණය. එය එතරම්ම ක්‍රිකට් ලෝකයේ සුලභ සිදුවීමක් වෙලා. සරල ක්‍රිකට් කියවීමක් ඇති පුද්ගලයෙකුට, ඉන්දීය ජයග්‍රහණය අරුමයක් වූයේ නැහැ.
සෙසු කණ්ඩායම් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇති පරතරය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ආසන්න කාල සීමාවේ පැවැති සෑම ICC තරගාවලියක්ම පාහේ ජයගත්තේ ඉන්දියාව.
2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත්තේ ඉන්දියාව. 2026 දහනමයෙන් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත්තේත් ඉන්දියාව. 2026 T20 ලෝක කුසලානය ජය ගත්තේත් ඉන්දියාව.
මේ ජයග්‍රහණයත් සමග ඉන්දීය ක්‍රිකට් රසිකයාගේ සපත්තුවට බැස බැලීමට මට හිතුණා. මම හිතන්නේ ක්‍රිකට් රසිකයන්ගේ පැත්තෙන්, ඉතාම කම්මැලිම අත්දැකීම පවතින්නේ ඉන්දීය ක්‍රිකට් රසිකයන්ට.
ඔවුන්ට ඕනෑම ලෝක කුසලානයක, තමන්ගේ කණ්ඩායමේ ආබාධ පිළිබඳව එතරම් තැකීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉන්දීය ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය උපරිමයි.
විරල ආබාධයක් සිදුවූවත් එහි ආදේශකය, මුල් ක්‍රීඩකයාට බොහෝ සමානයි. ඉන්දීය ක්‍රිකට් රසිකයාට තරගයේ ආරම්භයේ දී, මැදදී හෝ අවසානයේ දී ජයග්‍රහණය පිළිබඳ සැක කිරීමට අවශ්‍ය නැහැ.
තරගයේ මුල, මැද, අග සෑම අවස්ථාවකම පාහේ ඉදිරියෙන් සිටින්නේ ඉන්දීය කණ්ඩායම. ඉන්දීය ක්‍රිකට් රසිකයාට කඩුල්ලක්, දෙකක් බිඳ වැටුණාට පසුව පපුවේ ගැස්ම වැඩි වීමට හේතුවක් නැහැ.
ඊලගට පිටියට පිවිසෙන පිතිකරුවා, පෙර පිතිකරුවා තරම්ම විශ්වාස කළ හැකි, විනාශකාරී පිතිකරුවෙක් බව ඉන්දීය රසිකයන් දන්නවා. ඉන්දීය ක්‍රිකට් රසිකයාට තරගයක අවසන් පන්දුවාර පිළිබඳ බිය වීමට අවශ්‍ය නැහැ.
ජස්ප්‍රිත් බුම්රා පන්දුවට අතට ගත් පසු ඕනෑම ලකුණු ගණනක් ආරක්ෂා කළ හැකි බව ඔවුන් දන්නවා. ඉන්දීය ක්‍රිකට් රසිකයාට තරගය පැවැත්වෙන තනතීරුව පිලිබඳ කලබල වීමට උවමනා නැහැ.
කුමන තනතීරුවක ක්‍රීඩා කළත්, ඊට ගැලපෙන ක්‍රීඩකයන් ඔවුන් සතුයි. හදිසියේ හෝ ලෝක කුසලානයක අතරමැද තරගයක් පරාජය වුවහොත්, ඊලග වටයට සුදුසුකම් ලබන ආකාරය පිළිබඳව වගු ගසමින්, හිසේ රුදාව ඇතිවනතුරු ගණන් හැදීමට ඉන්දීය රසිකයාට අවශ්‍ය වන්නේ නැහැ.
පරාජයේ වාඩුව ද ගනිමින් ඊලග තරග සියල්ලම ඉන්දියාව ජය ගන්නා බව ඔවුන් දන්නවා. තරගය අතරමැද පන්දුවක් ඉහළ නගින සෑම විටකම හිසෙහි අත තබා, හුස්ම හිරකරගෙන බලා සිටීමට ඉන්දියානුවන්ට උවමනා නැහැ.
ඉතා කලාතුරකින් හැර ඉන්දීය ක්‍රීඩකයන් උඩපන්දු අත්නොහරින බව එරට රසිකයන් දන්නවා.
විනිසුරු තීරණයක දී වූවත් ඉන්දීය රසිකයාට පීඩනයක් නැහැ. සිය කණ්ඩායමට, මනුෂ්‍ය වැරදීමකින් හෝ අසාධාරණයකට මුහුණ දීමට සිදුවන ඉඩ අවම බව ඔවුන් දන්නවා.
තරගයක් ආරම්භයේ දී ඔවුන් ප්‍රතිඵලය දන්නවා.
ලෝක කුසලානයක් ආරම්භයේ දී ඔවුන් එහි අවසන් ප්‍රතිඵලය දන්නවා.
ඔවුන්ට පීඩනයක් නැහැ. බිය වීමට හේතුවක් නැහැ. ගැස්මක් නැහැ. හෘදයාබාධ ඇතිවන්නේ නැහැ. එලෙස කල්පනා කරද්දී ඉන්දීය ක්‍රිකට් රසිකයාගේ අත්දැකීම කොතරම් කම්මැලි, අමිහිරි සහ ඒකාකාරීදැයි මට හිතුණා.
එනමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් වන අප ඊට වඩා බොහෝ වෙනස්.
අප, ඉන්දීය ක්‍රිකට් රසිකයාට වඩා බොහෝ උද්වේගකර, ආශ්වාදජනක අත්දැකීමකට මුහුණ දෙනවා.
උඩ පන්දුවක් ඉහළ නගින සෑම මොහොතකම අපගේ පපුව වේගයෙන් ගැහෙනවා. යන්තම් හෝ අස්වැසිල්ලක් හිමිවන්නේ උඩපන්දුව රැකගත් විටයි.
මහීෂ් තීක්ෂණ වැනි පන්දු රකින්නෙක් සිටින කලාපයකට පන්දුව ගමන් කළහොත්, පෙර සිටම අත්හරින උඩපන්දුවක් පිළිබඳ හිත හදාගත හැකියි.
පන්දු යවන්නෙක් ඉතා හොඳින් පන්දු යවනා විට, අපට සතුටු වීමට වේලාවක් නැහැ. එතැන් සිට අප බිය වී සිටින්නේ ඔහු ආබාධයකට ලක් වන්නේ කොයි මොහොතේ ද කියායි.
තරගයක අප හොඳින් පන්දු යැවූවහොත්, අප නියපොතු හපමින් පිතිකරණය දෙස බලා සිටිනවා.
මන්ද එදිනට පිතිකරණය අසාර්ථක වීමේ ඉඩ වැඩියි. තරගයක අප හොඳින් පිතිකරණයේ යෙදුනහොත්, එදිනට පන්දු යැවීම දුර්වල වීම නියතයි. යම් හෙයකින් අප ඉඳහිට ප්‍රබල කණ්ඩායමක් පරාජය කරනවා.
එදිනට අප ජාතියක් ලෙස බොහෝ ප්‍රීතිඝෝෂා නගමින් එය සමරනවා. එදිනට අප ලොව සතුටුම රාජ්‍යය බවට පත්වෙනවා. එදිනට ක්‍රීඩකයන් දේවත්වයට නැගෙනවා. නමුත් ඉන්පසු තරග ගණනාවම අප සුපුරුදු පරිදි පරාජය වෙනවා.
ඉන්පසු යළිත් අප ශෝක වෙනවා. කෝපයට පත් වෙනවා.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයාට තරගයක් අවසන් වන තුරුම සැනසීමක් නැහැ. ඕනෑම මොහොතක තරගය ආපසු හැරවිය හැකියි. තරගයක් අතරතුර හද කම්පා කරවන, හද නවතන, උද්වේගකර අවස්ථා එමටයි.
ජයගෙන සිටින තරග පවා පරාජය වීමේ විරල හැකියාවක් අප කණ්ඩායමට තිබෙනවා.
ලාංකේය ක්‍රිකට් රසිකයා තරගයක් නරඹද්දී, සෑම විටකම සිටින්නේ ඊලග පන්දුව පිළිබඳ බියෙන්, සැකයෙන්. ඒ අර්ථයෙන් බලද්දී අප හට තරගයක් නරඹද්දී දැනෙන හැඟීම ‘රෝලර් කෝස්ටරයක’ ගමන් කරනවාට සමානයි.
කිසිසේත්ම අපට නිවීමක්, ඒකාකාරී හැඟීමක් නැහැ.
මිනිසුන් අන්තරාදායකර ඖෂධ සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන්නේ ඒවා පාවිච්චි කළ පසු දැනෙනා විවිධ හැඟීම් සමුදාය නිසා බව කියවෙනවා. මිනිසුන් ‘ආවේග’ වලට ඇබ්බැහි වෙනවා.
ඇතැම් විටෙක අප මෙතරම් තරග පරාජය වෙද්දීත්, ඊලග තරගයත් නරඹන්නේ අප ද, මත්ද්‍රව්‍යයක් සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ලබා දෙන, අනුමාන කළ නොහැකි ‘ආවේග’ වලට හුරුව තිබෙනා නිසා විය හැකියි.
ඒ අර්ථයෙන් බලද්දී අප ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්, ඉන්දීය ක්‍රිකට් රසිකයන්ට වඩා කොතරම් වාසනාවන්ත දැයි මට හිතුණා.