දිනුවේ කවුද ? පැරදුනේ කවුද ?

ඉරානය සහ ඊශ්‍රායලය මූලික කරගනිමින් මැද පෙරදිග ඇතිව තිබෙනා යුද්ධය තීරණාත්මක අවසානයකට ලං වෙමින් තිබෙනවා.
යුද්ධයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වන ඇමෙරිකානු ජනාධිපතිවරයා, තමන්ට යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය බවට ඉඟි කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවශ්‍යතාවය ඉටු වුවහොත් පුරා සති තුනක් පුරා පැවැති යුද්ධය නුදුරේදීම අවසන් වේවි.
මේ යුද්ධය පිළිබඳව විශ්ලේෂනය කිරීමට සහ එහි ජයග්‍රාහකයන් සහ පරාජිතයන් පිළිබඳව සොයා බැලීමට නම් එහි සියලූම පාර්ශවකරුවන් විශ්ලේෂනය කිරීම වැදගත්.
දාර්ශනික අර්ථයෙන් සහ මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධයකට ජයග්‍රාහකයන් නැහැ, ඇත්තේ පරාජිතයන් පමණයි.
නමුත් සැබෑ ලෝකයේ දේශපාලනය වැඩ කරනා ආකාරය අනුව එය සත්‍යයක් නොවෙයි. පැහැදිලිවම යුද්ධයකට ජයග්‍රාහකයන් සහ පරාජිතයන් සිටිනවා.
මැද පෙරදිග යුද්ධයේ ප්‍රධාන සහ සෘජු පාර්ශවකරුවන් තිදෙනෙක් ඉන්නවා.
ඉරානය, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව. යුද්ධයේ ජයග්‍රාහකයන් සහ පරාජිතයන් තෝරා ගැනීමට නම් එම පාර්ශවයන් දිනා ගත් දෑ සහ අහිමි කර ගත් දෑ විශ්ලේෂනය කළ යුතුයි.
ඉරානය
යුද්ධයෙන් ඉරානයට බොහෝ දේවල් අහිමි වුණා.
ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාත්මික නායකයා සහ රාජ්‍යයේ ඉහළම තනතුරු දරන හමුදා නායකයන් සහ විද්‍යාඥයන් අහිමි වුණා.
ඔවුන්ගේ අභ්‍යන්තර බුද්ධි අංශ ළඳරුවන් බව යුද්ධයේ මුල් දින කිහිපය තුළම පෙනී ගියා.
ඔවුන්ට ඩොලර් බිලියන ගණනක් වටිනා ආයුධ සහ දේපළ අහිමි වුණා. නගර ගණනාවක් විනාශ වුණා. ජන ජීවිතය කනපිට පෙරලුනා.
නමුත් ඒ සියල්ල මැද යුද්ධයේ 22 වෙනි දාත් ඔවුන් සටන් කරමින් සිටිනවා. ඔවුන් තවමත් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා.
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ගණනය කිරීම් වලට වඩා ඉරානය ශක්තිමත් බව ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා.
එමෙන්ම ඔවුන් සතු ප්රබලතම අවිය මිසයිල හෝ ඩ්‍රෝන නොවෙයි. රටෙහි පිහිටීම අනුව, ලෝකයේ බොරතෙල් වෙළඳපොලට අතිශය තීරණාත්මක හෝර්මූස් සමුද්‍ර සන්ධියේ පාලනයයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඔවුන්ට විශාල කේවල් කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා. ඔවුන් එය උපරිමයෙන් භාවිතා කරමින් සිටිනවා.
එමෙන්ම ඇමෙරිකාව බලාපොරොත්තු වූ ආකාරයට ඉරාන පාලනයේ ‘රෙජීම්’ වෙනසක් සිදු කිරීමටත් ඔවුන්ට නොහැකි වුණා.
තවමත් ඉරාන පාලනයේ වෙනස් වී ඇත්තේ මුහුණු පමණයි. කමේනි පාලනයේ අභිලාෂයන් සහ මතවාද වෙනස් වී නැහැ.
නමුත් ඉරානය යුද්ධයේ දී ලබා ගත් විශාලතම ජයග්‍රහණය ලබා ගත්තේ පසුගිය මාර්තු 19 දා.
එදින ඔවුන් ඇමෙරිකාවේ F -35 ප්‍රහාරක ගුවන් යානාවකට සාර්ථකව ප්‍රහාර එල්ල කළා.
F -35 ප්‍රහාරක ජෙට් යානාව කිසිදිනෙක ප්‍රහාරයක් එල්ල නොවීමට, විශාල පිරිවැයක් යොදා සකස් කළ ගුවන් යානයක්. ඇමෙරිකානු ආයුධ අතර රජු F- 35 ගුවන් යානය.
F – 35 ස්ටෙල්ත් යානයකට ප්‍රහාර එල්ල කිරීමට තරම් මිසයිල තාක්ෂනයක් ඉරානය සතු නම්, එය දෙවෙනි වන්නේ ඔවුන් න්‍යෂ්ටික ආයුධයක් අත් කර ගැනීමට පමණයි.
ඔවුන්ගේ බැලස්ටික් මිසයිල කිලෝමීටර 4000 ක් දුරින් පවතින ඉලක්කයක් කරා පවා ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ප්‍රහාරය අද ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රධාන පුවතක් වුණා.
ඒවා පැහැදිලිවම මනෝ මූලික ජයග්‍රහණ. සැබැවින්ම මෙතරම් ආයුධ, නැව්, මිසයිල පද්ධති අහිමි වූ පසුබිමක පවා මේ ආකාරයේ ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීම විශ්මයජනකයි.
ඒ අර්ථයෙන් යුද්ධයෙන් ඉරානයට බොහෝ දේවල් අහිමි වුණා. එමෙන්ම ඔවුන් ඇතැම් ජයග්‍රහණ ද අත් කරගත්තා.
ජයග්‍රහණ සහ පරාජයන් තුලනාත්මකව බලද්දී පරාජයන්ගේ බර ඉතා වැඩි වූවත්, ලෝකය බලාපොරොත්තු වූවාට වඩා සටනක් ඉරානය ලබා දුන්නා.
එමෙන්ම ඔවුන් අවසන් දිනය තෙක් කඩා නොවැටී සටන් කිරීම, ප්‍රතිවාදීන්ට හිසරදයක්ව පවතිනු ඇති.
ඊශ්‍රායලය
පැහැදිලිවම යුද්ධයේ විශාලතම ජයග්‍රහණ ලබා ගත්තේ ඊශ්‍රායලය.
ඔවුන්ට තර්ජනයක් වූ ඉරානය, නිෂ්ක්‍රීය කර දැමීමට ඔවුන් කටයුතු කළා.
ඒ සඳහා ඇමෙරිකාව හවුල් කර ගැනීමටත් ඔවුන් දක්ෂ වුණා.
බොහෝ කාලයක් යනතුරු ඉරානයට යුරේනියම් බල ගැන්වීමට නොහැකි වන පරිදි, ඊට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් සියල්ල ඔවුන් විනාශ කර දැමූවා.
නමුත් තවමත් ඊශ්‍රායලයේ ප්‍රධාන නගර වන ටෙල් අවීව් සහ ජේරුසලමට දිගින් දිගටම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙනවා.
ඊශ්‍රායලයේ ජන ජීවිතය අඩාල වෙලා. ඊශ්‍රායල ජනතාව ජීවත් වන්නේ දැඩි බියකින්. ඊශ්‍රායලයේ නිෂ්පාදන ආර්ථිකයට එය දැඩිව බලපානවා.
නමුත් ඇමෙරිකානු ආධාර මත ඒ තත්ත්වය ඔවුන් සමනය කර ගනීවි.
මේ බිය ඊලග මැතිවරණයක දී නෙතන්යාහූ ට අවාසි සහගත ලෙස බලපෑ හැකියි. නමුත් ඊශ්‍රායලයේ මැතිවරණ යනු සැබෑම ජනමතයට වඩා මොසාඩ් හි තීරණයන් නිසා එලෙස නොවීමටත් ඉඩ පවතිනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය
පැහැදිලිවම යුද්ධයේ විශාලතම පරාජිතයා ඇමෙරිකා එක්සත් ජනපදය.
යුද්ධයෙන් ඔවුන්ට බොහෝ දෑ අහිමි වුණා පමණයි.
ඔවුන් ඊශ්‍රායලයේ යුද්ධයක පාර්ශවකරුවෙක් වුණා. ඔවුන් ඩොලර් බිලියන ගණනාවක් යුද්ධය වෙනුවෙන් වැය කළා.
ඔවුන්ට ගුවන් යානා ගණනාවක් අහිමි වුණා. මැද පෙරදිග ඇමෙරිකානු කඳවුරු ගණනාවකට ප්‍රහාර එල්ල වුණා.
ඒ සියල්ලටම වඩා ඩොලර් ට්‍රිලියන දෙකක ව්‍යාපෘතියක අග්‍ර ඵලය වූ, ඇමෙරිකානු යුධ තාක්ෂණයේ මුදුන් මල්කඩ බඳු F-35 යානාවක් ඉරාන ප්‍රහාරයකට ලක් වුණා.
එය ඇමෙරිකාව යුද්ධයේ දී ලැබූ දැවැන්තම පරාජය. F- 35 යානාවක් ඩොලර් මිලියන 100 ක් පමණ වටිනවා.
මේ ප්‍රහාරයත් සමග ඇමෙරිකාව කියනා තරම් ඔවුන්ගේ ආයුධ බලවත්දැයි සැකය ලෝකයට කාන්දු වී තිබෙන බව පෙනෙනවා.
එය ඇමෙරිකාවට දැඩි අවාසියක්.
යුද්ධය නිසා නේටෝ සාමාජිකයන් සහ ඇමෙරිකාව අතර මතභේද නිර්මාණය වුණා. මෙතෙක් නේටෝ සාමාජිකයන් අතර විශාල පාලනයක් ඇමෙරිකාවට තිබුණා.
ඇමෙරිකානු තීරණ එලෙසින්ම පිළිගැනීමට නේටෝව කටයුතු කළා.
නමුත් ඉරාන – ඊශ්‍රායල යුද්ධයට සෘජුව සම්බන්ධ වීම නේටෝව ප්‍රතික්ෂේප කළා.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව බිඳ වැටී ගෝලීය ආර්ථිකය කඩා වැටීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ චෝදනා එල්ල වන්නේත් ඉරානයට නොවෙයි, ඇමෙරිකාවට.
එමෙන්ම යුද්ධය ට්‍රම්ප් පරිපාලනයට දැඩි දේශපාලනික අවාසීන් ගෙන ආවා. රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර පවා ට්‍රම්ප් රජයේ ජනප්‍රියත්වය බිඳ වැටෙමින් පවතිනවා.
ට්‍රම්ප් යනු ඊශ්‍රායල සිරකරුවෙකු ය යන මතය ඇමෙරිකානු ජන සමාජයට කාන්දු වුණා. ඉරානය සැබැවින්ම තමන්ට අනතුරක් වූ බව ඇමෙරිකානු සමාජය පිළිගන්නේ නැහැ. එම නිසාම ජන සමාජය මේ ප්‍රහාරය ප්‍රතික්ෂේප කරනවා.
ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි ජෝ කෙන්ට් ලා යුද්ධයට විරෝධය පා තනතුරු වලින් ඉවත් වුණා.
බොහෝ විට ඊලග මැතිවරණයක දී රිපබ්ලිකන් පරාජයට මේ යුද්ධය හේතු විය හැකියි.
ඒ අර්ථයෙන් ඇමෙරිකාවට යුද්ධයෙන් ලැබූ දිනා ගැනීම් වලට වඩා අහිමි වීම් බොහෝ වැඩියි.
චීන – රුසියානු කඳවුර
ඇමෙරිකානු පාර්ශවයෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට තිබූ ප්‍රධානතම නිදහසට කාරණයක් වන්නේ චීන – රුසියානු කඳවුර දුර්වල කිරීම.
ඉරානය ඉතා අඩු මිලට චීනයට බොර තෙල් ලබා දුන්නා. එය චීන ආර්ථිකයට විශාල පිටිවහලක් වුණා.
පැහැදිලිවම ඇමෙරිකාව දැන් තනි තනිව චීන – රුසියානු කඳවුරේ මිත්‍ර පාර්ශවයන් දුර්වල කරමින් සිටිනවා.
ඔවුන් සිරියාවේ රුසියානු හිතැති පාලනය පෙරලා දැමූවා. ඉන්පසුව ඉරාන පාලනය පෙරලා දැමීමට උත්සාහ කළා.
නමුත් කමේනිගේ මරණයෙන් පසුව පවා ඉරානයේ ‘රෙජීම’ වෙනසක් සිදු වූයේ නැහැ.
ඒ අර්ථයෙන් චීන – රුසියානු කඳවුරට මිතුරෙකු අහිමි වුණේ නැහැ.
එමෙන්ම ඉරානය විසින් ගෝලීය තෙල් වෙළඳපොළට සිදු කරන බලපෑම හේතුවෙන් රුසියානු තෙල් සඳහා ඇති සම්බාධක ලිහිල් වෙමින් තිබෙනවා.
එය රුසියාව ලැබූ ජයක්. දැන් දැන් චීනය සහ රුසියාව ඉරානයට බුද්ධි තොරතුරු ලබා දෙමින් සිටින බවත් හෙළිව තිබෙනවා.
ඒ අර්ථයෙන් චීන – රුසියානු කඳවුරට යුද්ධයෙන් විශාල අහිමි වීමක් සිදු වූයේ නැහැ.
ගල්ෆ් කලාපය
ඔටුවන් පිට ගමන් ගිය, කූඩාරම් වල ජීවත් වූ දුප්පත් අරාබීන් එක්වරම මහා ධනවතුන් වූ ආකාරය මා මින්පෙර ලියූවා.
ඒ ඇමෙරිකානුවන් පැමිණ බොරතෙල් කැණීම් වලට ආයෝජනය කිරීමත් සමගයි.
තෙල් වෙළදාමෙන් ධනවත් වූ ගල්ෆ් කලාපය, සිය ආරක්ෂාව ඇමෙරිකාවට භාර කළා.
ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු කඳවුරු ඉදිවුණා.
අරාබි රාජකීයයන් ඇමෙරිකාවට අල්ලස් ලබා දෙමින් ඉතාම සුඛෝපභෝගී ජීවිත ගත කළා.
ගල්ෆ් කලාපයේ ඩුබායි, කටාර් වැනි රටවල් ‘අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථාන’ ලෙස දියුණු වුණා.
නමුත් ඉරාන – ඊශ්‍රායල යුද්ධය ඇරඹීමත් සමග එක් රැයකින් ගල්ෆ් කලාපය එතරම් ආරක්ෂිත නොවන බව පෙණුනා.
තවමත් ගල්ෆ් කලාපයට ප්‍රහාර එල්ල වෙනවා. තෙල් කැණීම් හි සිට සුපිරි හෝටල් දක්වාම පරාසයකට ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා.
දැන් ගල්ෆ් හි ජීවත් වූ, ව්‍යාපාර කළ බොහෝ සුපිරි ධනවතුන් ගල්ෆ් කලාපය අතහැර යමින් සිටිනවා.
තවදුරටත් ලෝකයේ අලුත් සුපිරි නගරය ඩුබායි හෝ දෝහා නොවන බව ඔප්පු වෙමින් තිබෙනවා.
යුද්ධයෙන් ගල්ෆ් කලාපයට බොහෝ දෑ අහිමි වුණා.
මේ සියලූම සාධක සලකා බැලීමේ දී ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ විශාලතම ජයග්‍රාහකයා ඊශ්‍රායලයි.
ඔවුන් අහිමි කරගත් දෑ ට වඩා බොහෝ දෑ යුද්ධයෙන් දිනා ගත්තා.
එමෙන්ම යුද්ධයේ විශාලතම පරාජිතයා ඇමෙරිකා එක්සත් ජනපදය බව පැහැදිලියි.
යුද්ධයෙන් ඔවුන්ට බොහෝ දෑ අහිමි වූවත්, ලබා ගත් ජයග්‍රහණ බොහෝ අල්පයි.