ආණ්ඩුව හෙළි නොකරන පාස්කු මහ මොලකරු අපි හෙලි කරනවා – උදය ගම්මන්පිල

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“පාස්කු ප්‍රහාරය දැන් අවුරුදු 7ක් තිස්සේ හොදටම විකුණුවා. ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරලුවා. කිසිම පදනමක් නැතිව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත් තිබෙනවා.

ඒ නිසා ආණ්ඩුව හෙළිනොකරන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියන එක මාර්තු මස 31 වනදා ට හෙළිදරව් කරන්න අපි සූදානම්. වසර එකහමාරක් පුරා වෙහෙසකර පර්යේෂනයක් කරලා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම නමින් පර්යේෂන ග්‍රන්ථයක් අපි සකස් කළා. ඒ පර්යේෂන ග්‍රන්ථය මාර්තු 31 වැනිදා හවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා”

ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.

“පසුගිය අවුරුද්දේ මාර්තු 31 වැනිදා පුංචි ඡන්දේ මාලිමාවේ දෙනියාය රැස්වීමේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා, අප්‍රේල් මාසයේ 21 වැනිදාට කලින් පාස්කු මහ මොළකරු හෙළිකරනවා කියලා. එහෙම ප්‍රකාශ කරලා දැන් වසරකට ආසන්නයි. නමුත් ඒ පොරොන්දු වුණු ආකාරයෙන් පාස්කු මහ මොළකරු හෙළිකරන්න ජනාධිපතිතුමත් මාලිමා ආණ්ඩුවත් අසමත් වෙලා තිබෙනවා.

මේ රටේ සමහර දේශපාලකයෝ, පූජකයෝ, සමාජ මාධ්‍යවේදීන් අවුරුදු හතක් පුරා පාස්කු මිනී විකුණමින් දේශපාලනය කරනවා, ව්‍යාපාර කරනවා. පාස්කු මළමිනී සහ තුවාල තරම් වෙන්දේසි වුණු තවත් යමක් අපේ රටේ ඉතිහාසයේ නැහැ.

පසුගිය අවුරුද්දේ පාස්කු දිනය ළං වෙනකොට පාස්කු මහ මොළකරුයි කියමින් හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තා. ඒ ඇවිල්ලා 2025 අප්‍රේල් මාසේ 8 වැනිදා. අත්අඩංගුවට ගත්තට පස්සේ ජනාධිපතිතුමා මඩකලපුවේ රැස්වීමක් අමතමින් කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගත්තා කියලා. මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහත්තයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ රාසියාල්ගම වමාරමින් ඉන්නවා කියලා.

මගේ උදව් ඉල්ලලා පිල්ලෙයාන් ඇමතිවරයාගේ පාක්ෂිකයන් මා හමුවුණු නිසා සිංහල අවුරුදු නිවාඩුව මැද්දේ මම පොඩි නීති ගැටයක් ගහලා පිල්ලෙයාන්ව හමුවුණා. පිල්ලෙයාන් මට කියනවා: “පාස්කු ප්‍රහාරය පිළිබඳ මම දන්න දෙකුත් නැහැ, කිව්ව දේකුත් නැහැ. මගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ එකම එක ප්‍රශ්නයක්වත් ඇහුවේ නැහැ”. යනුවෙනි.