මැදපෙරදිග අර්බුධයේ ඉතිහාසය

මැද පෙරදිග නැවතත් යුද්ධයක් ඇති වෙලා. එම නිසාම ලෝකයේ සෑම කලාපයකම පාහේ ජීවත් වන ජනතාව පීඩා විඳිමින් ඉන්නවා.
ඇතැම් රටවල ඉන්ධන මිල බොහෝ ඉහළ ගිහිල්ලා. ශ්‍රී ලංකාව වැනි රටවල ඉන්ධන හිඟයක් ද ඇතිවෙලා.
ලෝකයේ එක් කලාපයකට නිරතුරුවම ඇති වන මේ අර්බුධ සහ යුද්ධත්, එම කලාපය මත ලෝකයට යැපීමට සිදුවීමත් පසුපස ඉතා අමිහිරි සහ ලේ තැවරුණු ඉතිහාසයක් තිබෙනවා.
‘මැද පෙරදිග’ (Middle east) ලෙස හඳුන්වන මේ කලාපය සැබැවින්ම ආසියාවේ කොටසක්. මේ කලාපයය මැද පෙරදිග ලෙස හැඳින්වීමට ආරම්භ කළේ යුරෝපීයයන්.
යුරෝපයට නැගෙනහිරින් පවතින කලාපයේ මැද කොටස යන අර්ථයෙන්, ඔවුන් බටහිර ආසියාවේ මේ කලාපය මැද පෙරදිග නමින් හැඳින්වූවා.
සැබැවින්ම ලෝකයේ ශිෂ්ඨාචාරය ආරම්භ වුණේ මැද පෙරදිග. හරියටම වර්තමාන ඉරාකයේ. ලෝකයේ බලවත්ම සහ විශාලතම ආගම් ඇරඹුනේ මේ කලාපයේ.
සියවස් ගණනාවක් තිස්සේ මේ කලාපයේ රාජධානි, ශිෂ්ඨාචාර බොහෝ ප්‍රමාණයක් ඇති වුණා.
නමුත් මේ කතාව ඇරඹෙන්නේ පළමු ලෝක යුද්ධයත් සමගයි. පළමු ලෝක යුද්ධයට පෙර මැද පෙරදිග පාලනය කළේ අවසන් ඔටෝමන් අධිරාජ්‍යය විසින් (Ottoman Empire).
ලෝක යුද්ධය පරාජය වෙලා, ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැටීමෙන් පසුව මැද පෙරදිග කලාපය යුරෝපීය බලවතුන් තිදෙනෙක් අතර බෙදී ගියා.
ඒ මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ සෝවියට් රුසියාව.
මේ අතර පළමු ලෝක යුද්ධයෙන් විශාල ධනයක් සහ බලයක් උපයා ගත් තවත් අධිරාජ්‍යයක්, ලෝකයේ බටහිරෙන් ගොඩනැගෙමින් තිබුණා.
ආරම්භයේ සිටම ලෝක බලවතා වීමේ අභිලාෂයෙන් සිටි මේ රට ඇමෙරිකා එක්සත් ජනපදය.
පළමු ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව වැදගත් පාඩමක් ඉගෙන ගත්තා.
පළමු ලෝක යුද්ධය, එතෙක් පැවැති සාම්ප්‍රදායික යුද්ධය වෙනස් කළා.
මින්පෙර යුද්ධ කෙරුණේ අශ්වයන් සහ සොල්දාදුවන් යොදාගෙන. නමුත් පළමු ලෝක යුද්ධයේදී විශාල වශයෙන් භාවිතා වුණේ යන්ත්‍ර.
මේ යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමට නම් ඉන්ධන අවශ්‍යයි. ජර්මනිය යුද්ධය පරාජය වීමට ඔවුන් සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති වීමත් බලපෑවා.
වර්ෂ මිලියන ගණනක් මහ පොළවේ තැන්පත්ව තිබෙනා මේ ඉන්ධන, ලෝකයේ ඊලග සුපිරි බලවතා තීරණය කරන ‘කළු රත්‍රං’ බව ඇමෙරිකාව තේරුම් ගත්තා.
කාලයත් සමග මැද පෙරදිග කලාපයෙන් යුරෝපීය අධිරාජ්‍යවාදීන් ඉවත් වුණා.
නමුත් ඔවුන් එහි ඉතිරි කර ගිය සළකුණු කිහිපයක් තිබුණා. ඉන් එකක් අභ්‍යන්තර අර්බුධ, සිවිල් යුද්ධ.
අධිරාජ්‍යවාදීන් මැද පෙරදිග කලාප වෙන් කර ගනිද්දී ඔවුන් දේශසීමා සලකුණු කළේ ඔවුන්ගේ පහසුවට පමණයි.
එම කලාපයේ ජීවත් වන ජනතාවගේ වාර්ගිකත්වය, ඇදහිලි, විශ්වාස සහ සංස්කෘතිය ඔවුන් මායිම් කළේ නැහැ.
මේ අතර පළමු ලෝක යුද්ධයෙන් පසුව අරාබි ගෝත්‍රයන් එකමුතු කරමින් සහ එක්සත් කරමින් නව රාජධානියක් ඇතිවුණා.
අබ්දුල්ලාසිස් රජු පාලනය කළ මේ කලාපයේ ‘බොරතෙල්’ පවතින බවට, 20 වන සියවසයේ මුල් භාගයේ සිටම සාක්ෂි සහ තොරතුරු තිබුණා.
‘සවුදි අරාබිය’ නමින් හැඳින්වූ එම කලාපය කාන්තාර ආශ්‍රිත භූමියක්. අරාබි ගෝත්‍රික ජනතාව එහි ඉතා දුෂ්කර, දුප්පත් ජීවිත ගත කළා.
ජනතාව ඔටුවන් පිට ගමන් කළා. ඉඳි (Dates) වගා කළා. ඔවුන් දැඩි ආහාර සහ ජල හිඟයකින් පීඩා වින්දා.
ඇමෙරිකා එක්සත් ජනපදය, තෙල් සොයමින් යන ගමනේ ඔවුන්ගේ අවදානය මැද පෙරදිගට යොමු වුණා.
කැලිෆෝර්නියාවේ පිහිට වූ පුද්ගලික සමාගමක්, මේ නව රාජධානියේ බොරතෙල් සොයමින් කැණීම් කිරීමට සවුදි රජුගෙන් අවසර ඉල්ලා සිටියා.
හිස් භූමියක බොරතෙල් සොයා කැණීම් කිරීම අවදානම් වැඩක්. මෙවැනි කැණීම් සඳහා ඩොලර් මිලියන සිය ගණනක් (එවකට) වැය වෙනවා.
බොරතෙල් හමු නොවුනහොත් සමාගමට විශාල පාඩුවක්. නමුත් ඇමෙරිකානුවන් කවදත් අවදානම් සමග කටයුතු කරන ජාතියක්.
සවුදි රජු දැඩි ඉස්ලාම් භක්තිකයෙක්. ඔහු ඇමෙරිකානු ක්‍රමයට එතරම් කැමති වූයේ නැහැ.
එමෙන්ම ඉස්ලාම් ධර්මයට අතිශය වැදගත් මක්කම වැනි කලාප මේ භූමියේ පිහිටා තිබුණා. ඒ ශුද්ධ භූමි අපවිත්‍ර කිරීමට රජුට උවමනා වූයේ නැහැ.
නමුත් රාජධානි බිහිවෙන, බිඳීයන මේ කලාපයේ බලය පවත්වා ගැනීමට නම් ඔහුට සාධක දෙකක් අවශ්‍ය වුණා.
එකක් මුදල්, දෙවැන්න ආරක්ෂාව. මුදල් සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඇමෙරිකානු සමාගමට කැණීම් සඳහා, කාන්තාර භූමියෙන් ඉඩම් අක්කර මිලියන දෙසීයකට වඩා ලබා දුන්නා.
1938 මාර්තු තුන්වෙනිදා සවුදි කාන්තාරයේ කැණිමක් අතරින් කළු පැහැති ඝන දියරයක් ගුවනට විසීරි ගියා.
ඒ සිදුවීම මැද පෙරදිග සහ සමස්ථ ලෝකයම වෙනස් කරවන සිදුවීමක් වුණා.
අවසානයේ සවුදි අරාබි කාන්තාරයෙන් විශාල බොරතෙල් සංචිතයක් හමුවී තිබුණා.
ක්‍රමක්‍රමයෙන් සවුදි අරාබිය ධනවත් වුණා. ඔටුවන් පිට ගිය අරාබීන්, නවීනතම මෝටර් රථ ආනයනය කළා.
රජ පවුල ඉතාම සුඛෝපභෝගි ජීවිතයකට හුරු වුණා. රජ කුමාරවරුන් ප්‍රංශයේ තරු හෝටල් මිලට ගත්තා.
තෙල් සමග පැමිණි නව ජීවිතයට ඔවුන් ආශක්ත වුණා.
ඒ සමගම ‘තෙල්’ ආරක්ෂා කිරීමට ඇමෙරිකාව සිය හමුදා කඳවුරක් ඒ ආශ්‍රිතව ආරම්භ කළා.
සවුදි අරාබියෙන් බොරතෙල් හමුවීමත්, ඇමෙරිකාවට එහි පාලනය හිමි වීමත් සමග, එතෙක් ලෝකයේ අධිරාජ්‍ය ගොඩනගමින් සිටි යුරෝපය ද වහා ක්‍රියාත්මක වුණා.
මෑත ඉතිහාසයේ බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීයයන් යටත් විජිත පිහිටවූයේ කුළු බඩු සහ කපු වැනි කෘෂිකාර්මික නිෂ්පාදන උදෙසායි.
බොරතෙල් එයට වඩා බොහෝ වටිනා බව යුරෝපීයයන් අවබෝධ කරගත්තා.
තෙල් සොයා යුරෝපීය ආයෝජකයන් ද මැදපෙරදිට ආවා.
ඔවුන් සවුදි අරාබිය ආශ්‍රිත, වෙනත් මැද පෙරදිග රටවල බොරතෙල් කැණීම් සඳහා ආයෝජනය කළා.
ක්‍රම ක්‍රමයෙන් මැද පෙරදිග සෙසු රටවල් වූ කටාරය, ලිබියාව, ඉරානය, ඕමානය, ඉරාකය, එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයෙන් ද බොරතෙල් හමුවුණා.
එම රටවල පාලකයන් සහ යුරෝපීය ආයෝජකයන් එක් රැයකින් සුපිරි ධනවතුන් බවට පත් වුණා.
ලෝකය වේගයෙන් යන්ත්‍ර වලට සහ විදුලියට මාරුවෙමින් තිබුණා.
එම යන්ත්‍ර වලට පණ පෙව්වේ, පෘතුවියේ ශිෂ්ඨාචාරය ආරම්භ වූ මේ කාන්තාර ආශ්‍රිත භූමිය.
මැද පෙරදිග ලෝක ආර්ථිකයේ අලුත්ම, වැදගත්ම මර්මස්ථානය බවට පත් වුණා.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව මැද පෙරදිග අළුත් රටක් ආරම්භ වුණා, ඊශ්‍රායලය.
දෙවන ලෝක යුද්ධයෙන් පීඩාවට පත් වූ යුදෙව්වන්, සිය ආගමේ ඔවුන්ට පොරොන්දු වූ දේශය සොයා මැද පෙරදිගට ආවා.
ඔවුන් ලෙබනනය, සිරියාව, ජෝර්දානය සහ ගාසා තීරයට මායිම්ව ඊශ්‍රායලය පිහිටෙව්වා.
බ්‍රිතාන්‍යයේ සහයෙන් ආරම්භ වූ මේ නව රාජ්‍යය, අවස්ථාවක් ලෙස ඇමෙරිකාව දැක්කා.
තමන්ට හිතවත්, මිතුරු රාජ්‍යයක් ගසා තීරයේ පැවතීම, කලාපයේ සිය ආධිපත්‍යයට වාසියක් ලෙස ඔවුන් දුටුවා.
ඊශ්‍රායලයේ පැවැත්ම මගින් ඔවුන්ට මැද පෙරදිග කලාපයේ පාලනය පහසු වෙනවා.
ඉරානය ද ඉහත මොඩලයට තෙල් හමු වූ රටක්.
එවකට ඉරාන පාලනය එංගලන්ත ක්‍රමයට එනම්, රජු සහ පාර්ලිමේන්තු ක්‍රමයකින් පාලනය වුණා.
එක් පැත්තකින් ‘පහ්ලවි’ රජ පවුල රාජකීයත්වයේ කටයුතු කළා.
අනෙක් පැත්තෙන් ජනතා ඡන්දයෙන් මහජන නියෝජිතයන් තේරීපත් වන දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ඉරානයේ තිබුණා.
1952 දී ඉරානයේ ප්‍රජාතාන්ත්‍රික පාලකයා, අගමැති මොසැඩ්ඩෙග් ඉරානයේ තෙල් ජනසතු කිරීමට උත්සාහ කළා.
පහ්ලවි ෂා රජු රාජ්‍යත්වයේ සිටියත් අගමැතිවරයා ඔහුට විරුද්ධව කටයුතු කරමින්, පාර්ලිමේන්තුව බලවත් කිරීමට උත්සාහ කළා.
ඉරානයේ එවකට තෙල් ප්‍රධාන වශයෙන්ම පාලනය කළේ බ්‍රිතාන්‍ය සමාගම්.
ඉරානයේ තෙල් ජනසතු වීමට බ්‍රිතාන්‍යය විරුද්ධ වුණා.
ඔවුන් එරට අභ්‍යන්තර කැරැල්ලක් ඇති කරමින් අගමැති මොසැඩ්ඩෙග් බලයෙන් පහ කළා.
ඒ සඳහා C.I.A සංවිධානය මෙන්ම MI 6 බුද්ධි අංශය ද සක්‍රීයව මැදිහත් වුණා.
ප්‍රජාතාන්ත්‍රික පාලකයාගේ ඉවත් වීමත් සමග ඉරානයේ රජු, ‘පහ්ලවි ෂා’ බලවත් වුණා.
ඔහු ඉතා දැඩි හස්ථයකින්, ජනතාව තලා පෙලමින් පාලනය කළා.
එය ඒකාධිපති පාලනයක්. ඔහු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, නිදහස සම්පූර්ණයෙන්ම අහෝසි කළා.
නමුත් ඔහු බ්‍රිතාන්‍යය තෙල් සම්පතට අත තැබීමට උත්සාහ කළේ නැහැ.
බ්‍රිතාන්‍ය තෙල් සම්පතට අත නොතබන තුරු, බටහිරයන් ෂා රජුගේ අපරාධ නොදැක්කා සේ හිටියා.
1979 දී ඉරාන ජනතාව ෂා රජුගේ පාලනයට එරෙහිව නැගී සිටියා.
එයට නායකත්වය ලබා දුන්නේ ආගමික නායකයෙක් වූ රුහොල්ලා කුමේනි.
එම නිසාම මේ කැරැල්ල ආගමික කැරැල්ලක් ලෙස වර්ධනය වුණා.
විප්ලවය සාර්ථක වුණා. පහ්ලවි රජ පවුල නෙරපා කුමේනි බලයට පැමිණියා.
මේ වෙනසට මැද පෙරදිග අසල්වැසියන් එතරම් කැමති වුණේ නැහැ.
මේ වෙද්දී මැද පෙරදිග අසල්වැසි රාජ්‍යයන් බොර තෙල් මතින් ගොඩනැගෙනා ධනයේ ආශ්වාදය විඳිමින් සිටියා.
ඔවුන් ඉරාන විප්ලවය අනතුරක් සේ දුටුවා.
එමෙන්ම ඉරානයේ කුමේනි පාලනය ද අසල්වැසි අරාබි රටවල ජනතාවටත්, ඒ ආකාරයේම විප්ලවයක් සිදු කරමින් රාජ පාලනයන් අවසන් කිරීමට ප්‍රචාරණ ව්‍යාපෘතියක් සිදු කළා.
ඔවුන් විශේෂ රේඩියෝ විකාශයන් ආරම්භ කරමින් මැද පෙරදිග සෙසු රටවල ජනතාව ආමන්ත්‍රණය කළා.
මුදල් වලට කෑදර පාලකයන් එලවා දැමීමට නැගී සිටින ලෙසට ආයාචනා කළා.
එම නිසාම අසල්වැසි රටවල් ඉරානය තමන්ට තර්ජනයක් ලෙස දුටුවා.
විශේෂයෙන්ම සවුදි අරාබිය ඉරානය සිය පරම හතුරෙක් ලෙස සැලකූවා.
සවුදි අරාබිය (ශියා) සහ ඉරානය (සුන්නි) අතර සාම්ප්‍රදායික සුන්නි – ශියා මුස්ලිම් වාර්ගික අරගලයක් ද තිබුණා.
මේ අතර තමන්ගේ බලය පැතිරවීමට අවස්ථාවක් පැමිණෙන තුරු බලාසිටි බලකාමී, ඒකාධිපතියෙක් ද මැදපෙරදිග කලාපයේ හිටියා.
ඒ ඉරාකය පාලනය කළ සදාම් හුසේන්.
බොරතෙල් ව්‍යාපාරයෙන් ධනවත්ව සිටි ඔහු, තමන්ගේ මුදල් වියදම් කළේ විශාල හමුදාවක් නිර්මාණය කිරීමට.
ඔහු නවීන යුද උපකරණ මිලට ගත්තා. විශාල හමුදාවන් බඳවා ගත්තා.
සදාම් හුසේන්ට තිබුණේ ආර්ථික උවමනාවකට වඩා මැද පෙරදිග කලාපයේ බලවතා වීමේ අභිලාෂයක්.
ප්‍රථමයෙන්ම ඔහු ඉරානය ආක්‍රමණය කිරීමට උත්සාහ කළා. විප්ලවයෙන් පසු ඉරානය දුර්වලව සිටි අවස්ථාව ඔහු ප්‍රයෝජනයට ගත්තා.
මන්ද ඉරාන විප්ලවයෙන් පසු පහ්ලවි රජ පවුලට සමීපව කටයුතු කළ සියලූම හමුදා නිළධාරීන් සිරගත වුණා.
ඉරාන විප්ලවය රැකීමට කුමේනි ගේ නායකත්වයෙන් අලුත් හමුදාවක් (IRGC) නිර්මාණය කෙරුණා. සාම්ප්‍රදායික හමුදාව ක්‍රමයෙන් දුර්වල කෙරුණා.
එම නිසා ඉරානය දුර්වලව තිබෙන බවට සදාම් හුසේන් උපකල්පනය කළා.
ඔහුගේ ඉරාන ආක්‍රමණයට මැද පෙරදිග සෙසු රටවල සහ ඇමෙරිකාවේ සහය හිමිවුණා.
මන්ද සවුදි අරාබිය, අලුත් ඉරානය හතුරෙකු සේ දුටුවා.
මේ ගැටුමේ දී ඉරානය, ඉරාකයේ ජීවිත් වූ සුලුතර ප්‍රජාවක් වූ කුර්දි (Kurds) ප්‍රජාවට උපකාර කරමින් සදාම්ට එරෙහිව තවත් පෙරමුණක කැරැල්ලක් ආරම්භ කළා.
එහිදී සදාම් නීතිවිරෝධි රසායනික අවි භාවිතා කරමින්, කුර්දි ප්‍රජාවන් සමූල ඝාතනය කළත්, බටහිර ඒ යුද අපරාධ නොදුටු සේ හිටියා.
මේ සංහාරයෙන් ඉරාක කුර්දී ප්‍රජාව ලක්ෂයක් පමණ ඝාතනය කළ බව කියවෙනවා.
කෙසේවෙතත් සදාම්ගේ ඉරාන ආක්‍රමණය අසාර්ථක වුණා. ඉරානයේ කුමේනි පාලනය බලවත්ව, සදාම් ගේ ආක්‍රමණය පරාජය කළා.
ඉස්ලාම් විප්ලවයෙන් බෙදී තිබුණු ඉරානය, යළි එකමුතු වීමටත්, සියලූම දෙනා කුමේනි ගේ පාලනය පිළිගැනීමටත් සදාම් ගේ ආක්‍රමණය හේතු වුණා.
කුමේනි සිරගතව සිටි හමුදා නිළධාරීන් නිදහස් කළා. ඔවුන් කුමේනි වෙනුවෙන් සදාම් ට එරෙහිව සටන් කළා.
ඉරාක ආක්‍රමණය හේතුවෙන් බිඳුණු රාජ්‍යයක් යළි එකමුතු වුණා.
බලකාමී සදාම් හුසේන් එතැනින් නැවතුණේ නැහැ.
1990 දී ඔහු කුවේට් රාජ්‍යය ආක්‍රමණය කළා. කුවේටය තෙල් සම්පත බහුල, නමුත් කුඩා රාජ්‍යයක්.
කුවේට් රජය පහසුවෙන් පරාජය කළ සදාම් කුවේටය අල්ලා ගත්තා.
මෙය සවුදි අරාබිය සහ සෙසු රටවල් බියෙන් සලිත කළ සිදුවීමක්.
සදාම්ගේ ඊලග ඉලක්කය සිය රටවල් විය හැකි බව සවුදි අරාබිය ඇතුළු රාජ්‍යයන් දැන සිටියා.
ඉරාකය සිය තෙල් මුදල් වැය කළේ විශාල හමුදාවන් ගොඩනැගීමට. නමුත් සවුදිය ඇතුළු රටවල් මිලිටරි බලය වෙනුවෙන් මුදල් වැය කළේ නැහැ.
ඉන්පසුව නැවතත් ගල්ෆ් රටවලට ඇමෙරිකාවේ සහය පැතීමට සිදුවුණා.
ඇමෙරිකාව ඉතා කැමැත්තෙන් විශාල හමුදාවන් සහ ප්‍රහාරක යානා රැගෙන සහයට ආවා. ඔවුන් පහසුවෙන් සදාම්ගේ හමුදාවන් පරාජය කළා.
නමුත් මෙවර වෙනසක් සිදු වුණා.
කුවේටයෙන් සදාම්ගේ හමුදාවන් පරාජය කළ ඇමෙරිකානු හමුදා ඛණ්ඩ යළිත් මවුරටට ගියේ නැහැ.
ඔවුන් මැදපෙරදිග තැනින් තැන සිය හමුදා ඛණ්ඩ පිහිටෙව්වා.
ඒ සඳහා මැදපෙරදිග පාලකයන්ගේත් සහය හිමිවුණා.
අද පවතින මේ මැද පෙරදිග අර්බුධය දෙස බැලීමේ දී එය දිගු , ලේ තැවරුණු ඉතිහාසයක් සහිත අර්බුධයක්.
නමුත් මේ සෑම අර්බුධයකම ඉතා පැහැදිලි මහා පොදු සාධකයක් තිබෙනවා.
ඒ ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යය.
1930 දී ඔවුන් තෙල් සොයා මැද පෙරදිගට යෑමේ සිට, ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයා බලයෙන් නෙරපීම දක්වාම සිදුවීම් මේ අර්බුධයට මුල් වෙනවා.
මැද පෙරදිග කලාපයේ යුද්ධ, අර්බුධ නිසා සමස්ථ ලෝකයේම ආර්ථිකය කඩා වැටුණු පළමු අවස්තාව මෙය නොවෙයි.
1973 දී සිව්වන අරාබි – ඊශ්‍රායල යුද්ධයේ දී ඇමෙරිකාව හොර රහසේම ඊශ්‍රායලයට උපකාර කළා.
නමුත් ඒ වනවිටත් ඔවුන් මැද පෙරදිග සෙසු රටවල් සමග ඉතාම මිත්‍රශීලිව, තෙල් ගණුදෙනු කරමින් කටයුතු කළා.
අවසානයේ එම යුද්ධයත් ඊශ්‍රායලය ජය ගත්තා.
කෙසේ වෙතත් ඊශ්‍රායලයට, සිය මිතුරා ඇමෙරිකාව උපකාර කළ බව දැනගත් මැද පෙරදිග රටවල් ඉන්ධන වර්ජනයක් ආරම්භ කළා.
එහිදීත් ලෝක ආර්ථිකය මෙලෙසින්ම කඩා වැටුණා. ඉන්ධන හිඟ වුණා. ඉන්ධන මිල ඉහළ ගියා.
එම නිසා බොහෝ විට මේ මැද පෙරදිග අර්බුධ, යුද්ධ නිසා ලෝක ආර්ථිකය බිඳ වැටෙන අවසන් අවස්තාව ද වන එකක් නැහැ.
මැද පෙරදිග ජනතාවට ඇමෙරිකානු බලපෑම නිසා බොහෝ දෑ ලැබුණා.
කුඩාරම් වල ඔටුවන් පිට ගමන් කරමින් ජීවත් වූ ජනතාව අද සැප සේ ජීවත් වෙනවා.
නමුත් ඔවුන්ට සදාතනික රාජ පාලනයක් යටතේ, නිදහස සහ ඇතැම් මානව අයිතිවාසිකම් නොමැතිව ජීවත් වීමට සිදුව තිබෙනවා.
ලෝකයේ බොහෝ රටවල සිදු වූ ප්‍රජාතාන්ත්‍රික විප්ලව මේ කලාපයේ සිදු වීමට, දූෂිත රජ පවුල් සමග තෙල් ගණුදෙනු කරනා ඇමෙරිකාව ඉඩ දෙන්නේ නැහැ.
එමෙන්ම අද ඔවුන්ගේ ජීවිත ඕනෑම මොහොතක ඩ්‍රෝනයකට හෝ මිසයිලයකට ගොඳුරු වීමේ ඉඩක් තිබෙනවා.
ඒ ඔවුන් ඇමෙරිකානුවන් පැමිණ තෙල් සොයා ගැනීමත්, ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිත වල සිදු වූ වෙනස උදෙසා ගෙවන මිලයි.
– ඉරේෂාන් සිරිවර්ධන –
2026. 03. 19