ශ්‍රී ලංකාවට ගෙන්වන බොරතෙල් වර්ගයේ මිල අඩුවෙයි.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොරතෙල් වර්ගය වන මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 120.75ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කෙසේවෙතත් අද (11) වන විට මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 මට්ටමට වඩා පහළ අගයයකට පැමිණ තිබෙන දැකිය හැකි අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.30 පමණ වන විට එහි අගය දැක්වුණේ ඩොලර් 99.57 ක් ලෙසිනි.

මර්බන් බොරතෙල් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි නිෂ්පාදනය කරන්නකි.

මෙය පිරිපහදුව සඳහා ඉතා පහසු පිරිසිදු, සැහැල්ලු සහ සල්ෆර් ගතිය අවම බොරතෙල් වර්ගයකි. එය පෙට්‍රල්, ඩීසල්, ගුවන් යානා ඉන්ධන වැනි නිෂ්පාදිත සඳහා ඉතා යෝග්‍ය බව පැවසේ. විශේෂයෙන්ම ආසියානු කලාපයට විශාල වශයෙන් මෙම මර්බන් බොරතෙල් වර්ගය අපනයන කෙරෙන අතර චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව එහි ප්‍රමුඛ ගැනුම්කරුවන් වේ.

එය ලෝක වෙළෙඳපොළේ WTI, බ්‍රෙන්ට් වැනි ප්‍රසිද්ධ බොරතෙල් වර්ගයන් හා සමාන වැදගත්කමක් දරනු ලබයි.