පාකිස්තානය කෙරෙහි තැබූ විශ්වාසය බිඳවැටී ඇති බව ඇෆ්ගනිස්තානය කියයි

පාකිස්තානයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ඇති කැපවීම කෙරෙහි තිබූ විශ්වාසය බිඳවැටී ඇති බව ඇෆ්ගනිස්තානය පවසයි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කරන රෝහලකට එල්ලවූ ගුවන් ප්‍රහාරයෙන් පසු තලේබාන් පාලනය මේ බව සඳහන් කර ඇත.

මෙම ප්‍රහාරය පාකිස්තානය විසින් එල්ල කර ඇති බවට ඇෆ්ගනිස්ථානය චෝදනා කරයි.

එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 400දෙනෙකු මියගොස් තවත් 250දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි පවසන්නේ ඇෆ්ගනිස්තානය යුද්ධයක් අපේක්ෂා නොකළද තම ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීමට පසුබට නොවන බවය.

රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කෙරෙහි පාකිස්තානයට ඇති අභිලාෂය පිළිබඳව ඇෆ්ගනිස්තානයට තවදුරටත් විශ්වාසයක් නැති බවද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත්, අදාළ ප්‍රහාරය පිළිබඳ චෝදනාව පාකිස්තානය ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.