බ්‍රිතාන්‍ය ගුවන් සේවය ලංකාවට – ඩීල් එක කාගේද ?

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම (British Airways) ශ්‍රී ලංකාව බලා යළි ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 2026 ඔක්තෝබර් 23 දින සිට සතියට තෙවරක්, ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළ සහ කටුනායක අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම ගුවන් ගමන් සඳහා වන ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ වුණා.

දැනට ශ්‍රී ලංකාව සහ ලන්ඩන් අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි.

ලන්ඩන් ගමනාන්තය ශ්‍රී ලංකා ගුවන් සේවය ලාබ ලබන, අතලොස්සක් වූ ගමනාන්ත අතරින් එකකි.

බ්‍රිතාන්‍ය ගුවන් සේවය ශ්‍රී ලංකාවට කැඳවා ගෙන ඒම සිදු කළේ එහි දේශීය නියෝජිතයා (General Sales Agent – GSA) ලෙස කටයුතු කරන හේලීස් ඒවිඒෂන් (Hayleys Aviation) ආයතනයයි.

බ්‍රිතාන්‍ය ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හේලීස් සමාගම විශාල වෙහෙසක් දැරූ බව සඳහන්.

හේලීස් සමාගමේ බහුතර හිමිකාරීත්වය දරන්නේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ඔහුට අනුබද්ධ සමාගම් විසිනි.

විශේෂත්වය වන්නේ වර්තමාන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ඇතුළු බහුතර අධ්‍යක්ෂක මණ්ඩලය, ධම්මික පෙරේරා යටතේ හේලීස් ආයතනයේ සේවය කරන විධායක නිළධාරීන් සහ අධ්‍යක්ෂකවරුන් වීමයි.

හේලීස් හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන සරත් ගනේගොඩ, මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති ධුරය හොබවනවා.

ඔහු 2007 වසරේ සිට හේලීස් කළමනාකාරීත්වයේ ප්‍රධාන භූමිකාවන් නියෝජනය කළ අයෙකි.

එමෙන්ම හේලීස් ආයතනයේ විධායක නිළධාරීන් වන රොහාන් ගුණතිලක ඇතුළු තවත් තිදෙනෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරනවා.

ඒ අනුව හේලීස් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනය අතර සම්බන්ධය තවදුරටත් රහසක් නොවෙයි.

එලෙස හේලීස් සමාගමට අනුබද්ධ පිරිසක් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාලනය කරද්දී, හේලීස් ඒවිඒෂන් ආයතනය විසින්ම බ්‍රිතාන්‍ය ගුවන් සේවය ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒම දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

මේ තීරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලන්ඩන් ගමනාන්තයට තරගකරුවෙක් එක්වෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභ, බ්‍රිතාන්‍ය ගුවන් සේවයට බෙදී යනවා.

එමගින් ජාතික ගුවන් සේවයට දැවැන්ත මූල්‍යය අවාසියක් සිදුවීමට නියමිතයි.

අවසානයේ මෙම ලාභ වලින් කොටසක්, එහි දේශීය නියෝජිත සමාගම වන හේලීස් ආයතනයට හිමිවෙනවා.

එනම් ශ්‍රී ලංකන් පාඩු ලබද්දී, එහි සභාපතිවරයා නියෝජනය කරන පුද්ගලික සමාගම වාසි ලබනවා.

එය ව්‍යාපාරික ලෝකයේ ‘ලබැඳියාවන්ගේ ගැටුමක්’ මෙන්ම දැඩි සදාචාර විරෝධි කටයුත්තක් ලෙසත් විචාරකයන් පෙන්වා දෙනවා.

සරත් ගනේගොඩ ගේ සභාපතිත්වය යටතේ ද ශ්‍රීලන්කන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබන අතර, පසුගිය වසරේදී ජාතික ගුවන් සේවය නගාසිටුවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 25ක මුදලක් ලබා දුන්නා.

ඉදිරි මාස කිහිපය තුළද ශ්‍රී ලංකන් ගුවන් සේවයට එවැනි මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමට රජයට සිදුවනු ඇතැයි ද වාර්තා වේ.