පරිහානියේ ඔවුන්ගේ කොටස!

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හේතුන් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම, එක් නිශ්චිත හේතුවකට ලඝු කිරීමට නොහැකියි.
පරිපාලනයේ දුර්වලතා, ක්‍රීඩකයන්ගේ දුර්වලතා, දුර්වල තනතීරු, දුර්වල පළමු පෙළ ආකෘතීන්, පක්ෂපාතී තේරීම්, දූෂණ වංචා ආදී සාධක දහස් ගණනක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට බලපෑවේ යැයි තර්ක කළ හැකියි.
ඒ සෑම තර්කයක්ම පාහේ නිවැරදියි.
ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීමට ඉහත කී සාධක සියල්ල, අඩු වැඩි වශයෙන් බලපා තිබෙනවා.
නමුත් ඒ සියල්ල අතරින් ක්‍රිකට් කඩා වැටීමට මූලිකම සහ ප්‍රධාන හේතුව බොහෝ දෙනෙක් හඳුනාගෙන නැහැ.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව බිහිකළ අග්‍රගන්‍ය ක්‍රීඩකයන් දෙදෙනෙක්.
ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටීම තුළ ඇතැමෙකුගේ චෝදනා ඔවුන් දෙදෙනාටත් එල්ල වෙනවා.
එම චෝදනා කිහිපයක් අතරින් ප්‍රධානතම චෝදනාව වන්නේ සංගා සහ මහේල දෙවන පෙළක් නිර්මාණය නොකළ නිසා, ක්‍රිකට් පරිහානියට ඔවුන් දෙදෙනා වගකිව යුතුය යන්නයි.
මේ චෝදනාව එතරම්ම සාධාරණ නැහැ.
ප්‍රථමයෙන්ම කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රීඩකයන් දෙදෙනෙක්, නායකයන් දෙදෙනෙක්.
ඔවුන්ගෙන් පසුව දෙවන පෙළක් නිර්මාණය කිරීම, ඔවුන්ගේ මූලික වගකීමක් නොවෙයි.
එය මෙරට ක්‍රිකට් පරිපාලනයේ, තේරිම් කමිටුවේ රාජකාරියක්.
ක්‍රීඩකයන්ගේ මූලික වගකීම වන්නේ හොඳින් ක්‍රීඩා කිරීම සහ රට වෙනුවෙන් තරග දිනවීම.
ඒ වගකීම ඔවුන් දෙදෙනා ඉතාම හොඳින් ඉටු කළා.
එනමුත් මෙරට ක්‍රිකට් පරිහානියට බලපෑ ප්‍රධානතම සාධකයට, සංගාගේ සහ මහේලගේ යම් වක්‍ර, අනිච්ඡානුග එනම් සිතා මතා නොකළ ආකාරයේ මැදිහත්වීමක් තිබෙනවා.
මා එම තත්ත්වය පැහැදිලි කරන්නේ මෙලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතිය අනුව ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් විසින් යම් ආකාරයකට කනිෂ්ඨ ක්‍රීඩකයන් නිර්මාණය කිරීම අතීතයේ සිට පැවැති සම්ප්රදායක්.
සංගා, මහේල පුද්ගලිකව අති විශිෂ්ඨ ක්‍රීඩකයන් වූවත් ඔවුන් එතරම්ම ඒ කාර්යභාරය සඳහා කැපවුණේ නැහැ.
ඔවුන් එලෙස කැපවීම අත්‍යවශ්‍ය වූයේ ද නැහැ. ඒ උදෙසා ඔවුන්ට දෝෂාරෝපන එල්ල කිරීමේ අයිතියක් ද නැහැ.
මන්ද එය ඔවුන්ගේ මූලික රාජකාරියක් නොවූ නිසා.
නමුත් කුමාර් සංගක්කාරලාගේ යුගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව භාරවීමට තිබුණේ දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න පරම්පරාවට.
එම ක්‍රීඩකයන් දෙදෙනාට කණ්ඩායමේ ස්ථාවර වීමට ඉඩක් ලැබුණේ නැහැ.
එයට සංගක්කාර ලා සහ අර්ජුණ ලා අතර තිබූ අභ්‍යන්තර බල අරගලය ද හේතුවක් වුණා.
සංගක්කාර, මහේල, ඩිල්ෂාන් යුගයෙන් පසුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව භාර වීමට තිබුණේ චන්දිමාල් – තිරිමාන්න යුගයට.
ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ගලාගෙන ගියේ ඒ ආකාරයටයි.
වෙත්තමුණිලාගෙන් පසුව අර්ජුණලාට ක්‍රිකට් ක්‍රීඩාව භාර වුණා.
අර්ජුණලාගෙන් පසුව සනත් – හෂාන් – මාවන් ට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව භාර වුණා.
සනත් – මාවන් යුගයෙන් පසුව සංගා – මහේල – ඩිල්ෂාන් යුගය ඇරඹුනා.
මේ සියලූම ක්‍රීඩකයන් ඔවුන්ගේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් යටතේ පුහුණු වූ, වඩාත්ම වටිනා ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතිය’ නැමැති දයාදය වැඩිහිටි පරම්පරාවෙන් උරුම වූ ක්‍රීඩකයන්.
ඉන්පසුව ඔවුන් තමන්ගේ බාල පරම්පරාවටත් ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතිය’ භාර කළා.
ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වයට විශාලතම හේතුව වූයේ අපටම ආවේණික, අපිට උරුම වූ මේ ක්‍රිකට් සංස්කෘතිය.
මේ ක්‍රිකට් සංස්කෘතිය යටතේ ගොඩනැගුණු ක්‍රීඩකයන් රට වෙනුවෙන් ක්‍රීඩා කළා.
ඔවුන් ඉහළම වෘත්තීමයභාවයක් ආරක්ෂා කළා.
ඔවුන් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගත්තා. නමුත් ඔවුන් පිටියේ දී ඉතාම තරගකාරී වුණා.
ඔවුන් ඉහළ ශාරීරික යෝග්‍යතාවයක් නඩත්තු කළා.
‘වැදගත්කම’ , ‘මහත්මාගුණය’ මෙරට ක්‍රිකට් සංස්කෘතියේ අංග වුණා. අතීතයේ දී දකුණු ආසියාවේ මහත්මාවරුන්ගේ කණ්ඩායම වූයේ ශ්‍රී ලංකාව.
ඔවුන් කැමරාව ඉදිරියේ සහ ඉන්පිටත සිය ප්‍රතිරූපය නඩත්තු කළා.
ඔවුන් දෙස රටක් බලා සිටින බව ඔවුන් දැන සිටියා.
ඔවුන්ට විශාල සිහින තිබුණා. ඔවුන්ට ක්‍රීඩාවේ සහ ඉන් පිටත විශාල පෞරුෂයන් වීමට උවමනා වුණා.
ඒ නිසාම ඔවුන් බොහෝ සාර්ථක වුණා.
ලාංකේය ක්‍රිකට් සංස්කෘතිය යනු ඒ දේශප්‍රේමීත්වය, කැපවීම, මහත්මාගුණය, වෘත්තීමයභාවය සහ ඉහළ විනය යි.
අදටත් ක්‍රීඩාවෙන් සමුගත් පසුබිමක පවා තමන්ගේ ක්ෂේත්රයෙන් ඉහළටම යෑමට ලාංකේය ක්‍රීඩකයන්ට හැකි වූයේ එනිසයි.
කුමාර් ධර්මසේන ලොව හොඳම විනිසුරුවරයා වුණා.
රංජන් මඩුගල්ල, රොෂාන් මහානාම ලොව හොඳම තරග තීරකයන් වුණා.
කුමාර් සංගක්කාර, ක්‍රිකට් ක්‍රීඩකයෙක් විසින් ගොඩනැගූ විශාලතම ව්‍යාපාර ජාලය ගොඩනැගුවා.
බිලියන ගණනාවක ජනතාවගේ ‘දෙවියා’ වෙමින්, විශාල ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවස්ථාවක් තිබූ සචින් තෙන්දුල්කාර්ට හෝ ඒ ව්‍යාපාර ඥානය තිබුණේ නැහැ.
මහේල ජයවර්ධන පුහුණුකරුවෙකු ලෙස ඉහළම ගෞරවයට පාත්‍ර වුණා.
ඔවුන් තමන් කරනා දෙය උපරිම කැපවීමකින් කළා. ඒ ඔස්සේ ඉහළටම යාමට තරම් දක්ෂ වුණා, බුද්ධිමත් වුණා.
ඒ මෙරට ක්‍රිකට් සංස්කෘතියේ ප්රතිඵලයි.
ශ්‍රී ලංකාවෙන් බිහි වූයේ හුදෙක් ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොවෙයි, මහත්වරුන්.
සංගා, මහේල යුගයෙන් පසුව අපගේ ක්‍රිකට් සංස්කෘතිය දන්නා, එය පුහුණු වූ, එයින් ගොඩනැගුණු ක්‍රීඩකයන් දෙදෙනෙක් අපට හිටියා.
අප ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගිය යුතුව තිබුණේ එම ක්‍රීඩකයන් දෙදෙනා වටායි.
ඒ දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න.
ඔවුන්ට පැවරෙන මූලීක වගකීම වූයේ මේ ක්‍රිකට් සංස්කෘතිය ඊළගට පැමිණෙන නවකයන්ට දයාද කර සමුගැනීමයි.
ඇන්ජලො මැතිවුස් නායකත්වය දැරූවත්, ඔහු අති දක්ෂ ක්‍රීඩකයෙකු වූවත්, මෙරට ක්‍රිකට් සංස්කෘතිය ඊලග පරපුරට දයාද කිරීමේ හැකියාව තිබුණේ චන්දිමාල්ට සහ තිරිමාන්නට.
මන්ද මැතිවුස්ට වඩා මෙරට පැරණි ක්‍රිකට් සංස්කෘතියේ කුමාරවරුන් ලෙස, ඒ තුළින් පැමිණ, හැඬ ගස්වා තිබුණේ චන්දි – තිරී යුවළයි.
නමුත් සංගා, මහේල ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුම චන්දිමාල්ට සහ තිරිමාන්නට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හෝ පිතිකරණ ස්ථානයක් හිමි වූයේ නැහැ.
ඔවුන් විවිධ තැන්වල ක්‍රීඩා කළා. විටෙක සාර්ථක වුණා. විටෙක අසාර්ථක වුණා.
එම නිසා ඉතාම සාධාරණ හේතු මත ඔවුන් දෙදෙනාට කණ්ඩායමෙන් ඉවතට විසි වීමට සිදුවුණා.
ඉන්පසුව කණ්ඩායමට කුසල් මෙන්ඩිස් ලා, නිරෝෂන් දික්වැල්ල ලා, ධනුෂ්ක ගුණතිලක ලා, වනිඳු හසරංග ලා පැමිණියා.
භද්‍ර යෞවනයන් වූ මේ ක්‍රීඩකයන් කණ්ඩායමට පැමිණෙද්දී, ඔවුන්ට අණ දිය හැකි, ඔවුන් පාලනය කළ හැකි, ඔවුන්ට මග පෙන්විය හැකි ජ්‍යේෂ්ඨයන් කණ්ඩායමේ සිටියේ නැහැ.
ඔවුන් කළ යුත්තේ කුමක්දැයි දැන සිටියේ නැහැ. ඔවුන්ට විශාල සිහින පෙන්වීමට ජ්‍යේෂ්ඨයන් සිටියේ නැහැ.
ඔවුන්ට ක්‍රීඩාව පමණක් නොව ඇඳුමේ සිට, වචනයේ සිට, සිය ප්‍රතිරූපය නඩත්තු කිරීමට ආදර්ශයට ගත හැකි ක්‍රීඩකයන්, මෙරට ක්‍රිකට් විවේකාගාරය තුළ සිටියේ නැහැ.
එම නිසාම මේ ක්‍රීඩකයන් විසින් ඔවුන්ගේම, ඔවුන්ට අනන්‍ය, අලුත් සංස්කෘතියක් ජාතික කණ්ඩායම තුළ, ක්‍රීඩක විවේකාගාරයේ සහ ක්‍රිකට් ක්ෂේත්රයේ ඇති කරගත්තා.
මුදල්, සාද, කාන්තාවන් සහ පුද්ගලික විනෝදය ඒ අලුත් සංස්කෘතියේ අංග වුණා.
එහි දේශප්‍රේමීත්වය, වෘත්තීමයභාවය හෝ විනය තිබුණේ නැහැ. එමෙන්ම ‘මහත්මාගුණය’ ගෑවි හෝ තිබුණේ නැහැ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම සහ පරිහානිය ආරම්භ වූයේ එදින සිටයි.
කිසිඳු තර්කයකින් තොරවම වර්තමාන ක්‍රීඩකයන්ගේ දක්ෂතා හෝ කුසලතා වල විශාල ගැටළුවක් පෙනෙන්නට නැහැ.
එනමුත් ඔවුන් සංගක්කාර ලා මෙන් වෙහෙස වී තමන්ගේ දක්ෂතා, කුසලතා වර්ධනය කරගන්නේ නැහැ.
මන්ද ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සහ ඉන් පිටත ලෝකය ජය ගැනීමේ විශාල සිහින නැහැ.
ඔවුන් දැනටමත් ජීවිතය ජයගෙන අවසන්.
මහල් නිවාසයක්, සුඛෝපභෝගි මෝටර් රථයක් මිලට ගත් පසු ඔවුන්ගේ සිහින සහ ජීවිතය සම්පූර්ණයි.
ඔවුන් කුඩා සිහින ඇති මිනිසුන්.
එතැන් සිට ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව වැදගත් නැහැ.
එතැන් පටන් ඔවුන් කාලය වැය කරන්නේ ඉන්ස්ටාග්‍රෑම් හරහා කාන්තාවන් දඩයම් කිරීමට පමණයි.
ඔවුන් හැසිරීමට හෝ කතා කිරීමට දන්නේ නැහැ.
අතීත ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සතුව තිබූ ආකර්ෂණීය, වැදගත් හැසිරීම ඔවුන්ට නැහැ.
දිනේෂ් චන්දිමාල් ලා, ළහිරු තිරිමාන්න ලා නවකයන් වූ සමයේ පවා මහත්වරුන් සේ හැසිරුණා.
ඔවුන්ට කිසිඳු දිනෙක මාධ්‍යයේ එක් වචනයක් මගහැරී නැහැ.
චන්දිමාල් ලෝක කුසලානයක් අතරමැද නායකත්වය අතහැරි ක්‍රීඩකයෙක්. ඉන්පසුව කිසිදිනෙක මාධ්‍යයේ ඒ සිදුවීම පිළිබඳ සාකච්ඡා නොකළ ක්‍රීඩකයෙක්.
තරුණ චන්දිමාල් ලාට තිබූ ඒ පරිචය, ජ්‍යේෂ්ඨ කුසල් මෙන්ඩිස් ලාට තවමත් නැහැ.
ඔවුන් තවමත් ප්‍රේක්ෂකයන්ට මැද ඇඟිලි දිගු කරනවා.
මතීෂ පතිරණ, රසිකයන්ට පිළිතුරු දීමටම අවඥාසහගත සමාජ මාධ්‍ය පළ කිරීම් කරනවා.
මන්ද ඔවුන් චන්දිමාල් ලා මෙන් මෙරට ක්‍රිකට් සංස්කෘතියේ නිෂ්පාදන නොවෙයි.
ඔවුන් අලුත් ක්‍රිකට් සංස්කෘතියේ නිෂ්පාදන.
අතීතයේ ඕනෑම ICC උත්සවයක මහත්වරුන් සේ හැඳ පැළැඳ ගත් ලාංකේය ක්‍රීඩකයන් ඉදිරියෙන්ම සිටියා.
දැන් එවැනි උත්සවයකට යැවිය හැකි ‘වැදගත්’ ක්‍රීඩකයෙක් අපට නැහැ.
වර්තමානයේ සිටින්නේ ශරීරය පුරාම පච්චා ගසා ගත්, රස්තියාදුකාරයන් සේ දිස්වෙන ක්‍රීඩකයන්.
මේ සියල්ල සිදුවූයේ , ගමෙන් සහ පාසලෙන් පැමිණි යොවුන් ක්‍රීඩකයන්ට මග පෙන්වීමට සහ ඔවුන්ට මෙරට ක්‍රිකට් සංස්කෘතිය දයාද කර දීමට ජ්‍යේෂ්ඨයන් කණ්ඩායමේ නොසිටි නිසා.
මේ යොවුන් ක්‍රීඩකයන්ට ආදර්ශයට ගෙන, ගොඩනැගීමට ආදර්ශමත් චරිතයක් කණ්ඩායමේ නොසිටි නිසා.
යොවුන් ක්‍රීඩකයන්ට ආසනයෙන් නැගිටීමට තරම් ප්‍රතිරූපයක් ක්‍රීඩා විවේකාගාරයේ නොසිටි නිසා.
වෙත්තමුණි ලා දෙස බලා අර්ජුණ ලා ගොඩනැගුණා.
අර්ජුණ ලා දෙස බලා සනත්, මාවන් ලා ගොඩනැගුණා.
මාවන් ලා ඇසුරේ සංගක්කාර, මහේල ලා ගොඩනැගුණා.
නමුත් සංගක්කාර, මහේල ගෙන් පසුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආදර්ශමත් චරිතයක් බිහි වූයේ නැහැ.
දම්වැලෙහි පුරුක චන්දිමාල් සහ තිරිමාන්නගෙන් බිඳී ගියා.
ඉන්පසුව බිහි වූ කුසල් මෙන්ඩිස් ලා, වනිඳු හසරංග ලා අතීත ක්‍රිකට් සංස්කෘතිය නැමැති දම්වැලෙහි පුරුක් නොවන්නේ ඒකයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳවැටීමට සහ පරිහානියට ප්‍රධාන හේතුව වන්නේ මේ ක්‍රිකට් සංස්කෘතිය බිඳ වැටීමයි.
මේ කණ්ඩායමට සහ විවේකාගාරයට කුමන දක්ෂතා ඇති ක්‍රීඩකයන් ගෙන ආවත්, ඔවුන් සියලූම දෙනා ඉතාම කෙටි කාලයකින් ක්‍රිකට් අතහැර කාන්තාවන් සහ සාද පසුපස දිවීමට ආරම්භ කරනවා.
එය නියතයක්.
මන්ද ඔවුන් දකිනා ලෝකය එයයි.
සංගක්කාර ලා මෙන් ICC සම්මාන දිනා ගැනීමට, අර්ජුණ ලා මෙන් ලෝක කුසලාන දිනා ගැනීමට සිහින ඔවුන්ට නැහැ.
ඔවුන්ගේ සිහිනය නවීන නිවසකින් සහ සුඛෝපභෝගි වාහනයකින් අවසන්.
වාසනාවට හෝ අවාසනාවට ඒ සිහිනය ඉටු කර ගැනීමට දැන් වැය වන්නේ තරගාවලි දෙකක් පමණයි.
එම නිසා ඕනෑම යොවුන් ක්‍රීඩකයෙකුගේ සිහින, තරගාවලි දෙකකින් අවසන් වෙනවා.
එතැන් සිට ක්‍රිකට් යනු ඔහුට තවත් එක් වගකීමක් පමණයි. එතැන් සිට ඔහු ජීවිතය ජයගත්, දිනා ගැනීමට දෙයක් නොමැති, සම්පූර්ණ මිනිසෙක්.
එම නිසා මේ ක්‍රිකට් සංස්කෘතිය වෙනස් කරනතුරු, කුමන වෙනස සිදුකළත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අතීත ශ්‍රී විභීතිය යළි ඇරඹෙන්නේ නැහැ.
බොහෝ දෙනෙකුගේ අර්ථයෙන් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙරට ක්‍රිකට් පරිහානියට වගකිව යුතු යැයි මා පිළිගන්නේ නැහැ.
ඔවුන් පුද්ගලිකව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දෑ දුන් ක්‍රීඩකයන්.
දෙවන පෙළක් නිර්මාණය කිරීම ඔවුන්ගේ මූලික වගකීමක් ද නොවෙයි.
නමුත් ඔවුන් දෙදෙනාගෙන් චන්දිමාල් – තිරිමාන්න මගහැරී යාම තුළ මෙරට ක්‍රිකට් පරිහානිය ආරම්භ වුණා.
චන්දිමාල් සහ තිරිමාන්න යනු හුදෙක් ‘දක්ෂතාවයන්’ දෙකක් නොවෙයි, ‘සම්ප්රදායක’ සහ ‘සංස්කෘතියක’ නියෝජනයක්.
එය කිසිසේත්ම මේ ලෝක පූජිත ක්‍රීඩකයන් දෙදෙනා සිතාමතා සිදු කළ දෙයක් නොවෙයි.
අදටත් සංගා සහ මහේල ඉතාම අවංකව සහ කැපවීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත් වෙනවා.
එනමුත් මාගේ අවංක අදහස නම්, දැන් අශ්වයා පැන ගොස් බොහෝ වෙලා ගතව තිබෙනා බවයි.
- ඉරේෂාන් සිරිවර්ධන