ඉරාන යුද්ධය සහ ඇමෙරිකාවේ අනාගතය!

ඇමෙරිකානු ත්‍රස්ත මර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධූරයෙන් ජෝ කෙන්ට් ඉවත් වුණා.

ඔහු එම ධූරයට පත් කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහු ජනාධිපති ට්‍රම්ප්ගේ අභ්‍යන්තර කවයේ ‘ජාතික ආරක්ෂාව’ සම්බන්ධයෙන්, ට්‍රම්ප්ගේ ලඟම විශ්වාසවන්තයෙක් වුණා.

ජෝ කෙන්ට් යනු තවත් එක් දේශපාලඥයෙක් නොවෙයි. ඔහු ඇමෙරිකානු සංස්කෘතියේ සංකේතයක්.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කළ දේශපාලන මතවාදයේ වීරයෙක්.

ජෝ කෙන්ට් හිටපු ඇමෙරිකානු සොල්දාදුවෙක්. සාමාන්‍ය සොල්දාදුවෙක් නොවෙයි, ඇමෙරිකානු විශේෂ බලකායේ සොල්දාදුවෙක්.

එරට ප්‍රධානතම හමුදා ඒකකයක් වන (Elite) , ග්‍රීන් බෙරේ හි (Green beret) සාමාජිකයෙක්. ඔහු ඇමෙරිකානු විශේෂ බලකාය නියෝජනය කරමින් විදෙස් හමුදා සංචාර 11 කට සහභාගී වූ වීරයෙක්.

සාමාන්‍ය ඇමෙරිකානු සමාජය එරට හමුදා සොල්දාදුවන් විශේෂ කොට සලකනවා. නමුත් විශේෂ බලකා සොල්දාදුවන් සහ ඔවුන්ගේ නිර්වචනයට අනුව විදෙස් සටන් වලට සහභාගී වූ සොල්දාදුවන් එරට මහා සමාජයේ වීරයන්.

ජෝ කෙන්ට් එවැනි වීරයෙක්.

එපමණක් නොවෙයි. විශේෂ බලකායෙන් විශ්‍රාම ගත් පසුව ඔහු එරට C.I.A බුද්ධි සේවයට බැඳුණා.

එහිදී ඔහුට ශැනොන් මේරි ස්මිත් මුණ ගැසෙනවා.

ශැනෝන් සේවය කළේ C.I.A බුද්ධි සේවයේ සංඥා අංශයේ යි.

ජෝ සහ ශැනොන් විවාහ වුණා. ඔවුන් දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් වුණා.

නමුත් 2019 වසරේ දී සිරියාවේ හමුදා මෙහෙයුමක් අතරතුර ශැනොන් බෝම්බ ප්‍රහාරයකින් මිය ගියා.

ඉන්පසුව ජෝ කෙන්ට් දේශපාලනයට ප්‍රවිෂ්ට වුණා. ඔහු තෝරා ගත්තේ රිපබ්ලිකන් පක්ෂය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබලතම ආධාරකරුවෙක් වූ ඔහු, එවකට ට්‍රම්ප්ගේ යුද විරෝධි මතය වෙනුවෙන් දැඩිව පෙනී සිටියා.

ජෝ සෑම අතින්ම ඇමෙරිකානු වීරයෙක්. ඇමෙරිකානු සමාජයේ වීරයෙක් වීමට අවශ්‍ය සෑම සුදුසුකමක්ම ඔහුට තිබුණා.

ඔහු විදේශ සංචාර 11 කට සහභාගී වූ විශේෂ බලකා සොල්දාදුවෙක්.

ඔහු C.I.A බුද්ධි අංශ නිළධාරියෙක්.

ඇමෙරිකානු සමාජයේ සිය බිරිඳ හෝ සැමියා යුද්ධයෙන් අහිමි වූ වැන්දඹු බිරින්දෑවරුන් සහ සැමියන් හඳුන්වන්නේ ‘ගෝල්ඩ් ස්ටාර් බිරින්දෑවරු’ (Gold Star Wives) සහ ‘ගෝල්ඩ් ස්ටාර් සැමියන්’ (Gold Star Husbands) යන අන්වර්ථ නාමයෙන්.

ඔහු යුද මෙහෙයුමක දී බිරිඳ අහිමි කරගත් ගෝල්ඩ් ස්ටාර් සැමියෙක්.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජෝ කෙන්ට් ලා වැනි ඇමෙරිකානු වීරයන්, ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කිරීම ඔහුගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වුණා.

ජයග්‍රහණයෙන් පසුව ඇමෙරිකානු ජාතික ආරක්ෂාවේ ඉතා වැදගත් අංශයක් වන ‘ජාතික ත්‍රස්ථ මර්ධන මධ්‍යස්ථානය’ (National Counterterrorism Center) ජෝ කෙන්ට් ට භාර වීමට හේතුව එයයි.

ජෝ කෙන්ට් ජනාධිපතිවරණයට පෙර සිටම නියෝජනය කළේ ඇමෙරිකාව, අනවශ්‍ය හේතූන් මත විදෙස් රටවල් සමග යුද්ධ ඇති නොකරගත යුතුය යන මතයයි.

එහිදී වීර ඇමෙරිකානු දූ පුතුන්ගේ ජීවිත නිකරුණේ විනාශ වන බවට ඔවුන් තර්ක කළා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පැහැදිලිවම නියෝජනය කළේ එම මතයමයි.

අනෙක් පසින් ජනාධිපතිවරණය අවස්ථාවේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය තරමක යුදවාදී මතයක් නියෝජනය කළා.

ඔවුන් යුක්‍රේන – රුසියා යුද්ධයේ දී පවා, ඇමෙරිකාව සෘජුව යුක්‍රේනයේ පාර්ශවකරුවෙක් විය යුතුයැයි ප්‍රකාශ කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කළේ එයට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ මතයක්.

ඔහු ආර්ථිකය, දේශසීමා ආරක්ෂාව, ධනවාදී ප්‍රතිපත්ති, රාජ්‍ය නියාමනය සීමා කිරීම්, බොරතෙල් නිෂ්පාදනය, ‘වෝක්’ ප්‍රතිවිරුද්ධ මතවාද වැනි සටන් පාඨ ඉදිරිපත් කළා.

පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත් වී පළමු වසර තුළ, තමන්ගේ පෙර මතවාදයට අනුගත වී සිටීමට දැඩිව උත්සාහ කළා.

ඔහු යුක්‍රේන – රුසියා යුද්ධයට පවා සෘජුව මැදිහත් නොවී සිටීමට උත්සාහ කළා.

යුද්ධ වලට වඩා ඔහු ජනතාවට පොරොන්දු වූ දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිසංස්කරණ වලට සහ සංක්‍රමණිකයන්ගෙන් ඇමෙරිකානු දේශසීමා ආරක්ෂා කර ගැනීම වැනි දෑ ප්‍රමුඛස්ථානයේ තැබුවා.

නමුත් පියවරෙන් පියවර ගොඩනැගුණු සහ ගිනි ඇවිලුණු ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ ඇමෙරිකාව ප්‍රධාන පාර්ශවකරුවෙක් වුණා.

යුද්ධය වෙනුවෙන් ඇමෙරිකාව ජීවිත, මුදල් සහ ආයුධ වැය කළා.

මේ යුද්ධය සමස්ථ ලෝකය, ගෝලීය ආර්ථිකය වෙනස් කරමින් තිබෙනවා.

දැනට යුද්ධයෙන් ඇමෙරිකානු ජීවිත කිහිපයකට සහ යුධ උපකරණ ගණනාවකට හානි වෙලා.

ඉතා සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකර ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ, ඇමෙරිකාව පාර්ශවකරුවෙක් වීම ඩොනල්ඩ් ට්‍රම්ප් පාක්ෂිකයන් පවා තරමක් මවිතයට සහ කණගාටුවට පත් කළ සිදුවීමක් වුණා.

මින්පෙර සිටම ඇමෙරිකාව සිය ජනතාවට ව්‍යාජ හේතූන් පෙන්වා විදෙස් රටවල් ආක්‍රමණය කළා, ඒවායේ ආණ්ඩු පෙරලා දැමූවා.

එම යුද්ධ වලින් දහස් ගණනක් ඇමෙරිකානු තරුණ ජීවිත අහිමි වුණා.

නමුත් පසුව එවක රජයන් මේ යුද්ධ ඇති කිරීමට ඉදිරිපත් කළ කරුණු ව්‍යාජ ඒවා බව හෙළිවුණා.

එවකට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ යුද්ධ දැඩිව විවේචනය කළා.

එවැනි පසුබිමක ට්‍රම්ප්ගේ ඉරාන ප්‍රහාරයත් සාමාන්‍ය ජනතාව සලකන්නේ, බුෂ්ගේ ඉරාක ආක්‍රමණය ඝනයෙහි ලාමයි.

දැන් දැන් සාමාන්‍ය ඇමෙරිකානු ජාතිකවාදී, යුද විරෝධි ජනතාව ට්‍රම්ප් පාලනයෙන් ඈත් වෙමින් පවතිනවා.

යුද්ධය හේතුවෙන් සමස්ථ ලෝකයෙහිම ආර්ථිකය කඩා වැටෙමින්, උද්ධමනය ඉහළ යමින්, ඉතාම අසීරු කාලයක් නිර්මාණය වෙමින් පවතිනවා.

මේ ඔවුන් බලාපොරොත්තු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නොවෙයි.

ජනාධිපතිවරණ වේදිකාවේ සිටියේ යුද්ධය ප්‍රතික්ෂේප කළ, මිනිස් ජීවිත සහ ආර්ථිකය මුල් කරගත් අපේක්ෂයෙක්.

මිනිසුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දුන්නේ යුද්ධ ඇති කිරීමට නොවෙයි, ප්‍රධාන වශයෙන්ම ආර්ථිකය සවිමත් කිරීමටයි.

ට්‍රම්ප් ජනාධිපති වී වසරක් ගත වූ තැන, එදා ඔහු දැඩිව විවේචනය කළ මාර්ගයේම ගමන් කරමින් සිටිනවා.

එමෙන්ම ඇමෙරිකානු මහා සමාජය තුළ මෙය ඇමෙරිකාවේ යුද්ධයක් නොව, ඊශ්‍රායලයේ යුද්ධයක් බවට ප්‍රබල මතයක් ඇතිවෙමින් පවතිනවා.

ඉරානය තර්ජනයක් වූයේ ඇමෙරිකාවට නොව ඊශ්‍රායලයට බවත්, ඇමෙරිකාව මේ යුද්ධයේ පැටලීම වැරදි තීරණයක් බවත් ඔවුන් කියනවා.

එමෙන්ම සාම්ප්‍රදායික කුමන්ත්‍රණ න්‍යායන් ද (Conspiracy theories) මේ වටා ගොඩනැගෙමින් තිබෙනවා.

ඇතැමෙකුට අනුව අද ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ මානසික හිරකරුවෙක්. එයට හේතුව ආන්දෝලනාත්මක එප්ස්ටීන් දූපතේ රහස්.

මේ න්‍යායන් ඔප්පු කිරීමට තරම් ප්‍රබල සාක්ෂි නොමැති වූවත්, සාමාන්‍ය ජනතාව තමන්ට විශ්වාස කිරීමට අවශ්‍ය දේ, සාක්ෂි සාධක නැති පසුබිමක පවා විශ්වාස කරනවා.

ඉතා ප්‍රබල ඉල්ලා අස් වීමේ ලිපියක් ලියමින්, ජෝ කෙන්ට් ඇමෙරිකානු ත්‍රස්ථ මර්ධන මධ්‍යස්ථානයෙන් ඉවත් වන්නේ එවැනි පසුබිමක.

සිය ඉල්ලා අස් වීමේ ලිපියේ, මෙය ඇමෙරිකාවේ යුද්ධයක් නොවන බව ජෝ කෙන්ට් ලියනවා.

එමෙන්ම ඉරානය ඇමෙරිකාවට තර්ජනයක් නොවූ බවත් ඔහු සඳහන් කරනවා.

අද ඇමෙරිකාව ඊශ්‍රායලයේ කොන්ත්‍රාත්තු ඉටු කරන බවත්, තමන් පෙනී සිටින්නේ අතීතයේ සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ මතවාද වෙනුවෙන් බවත් ජෝ සිය අස්වීමේ ලිපියේ ලියා තිබුණා.

ජෝ කෙන්ට් වැනි ඇමෙරිකානු වීරයෙක්, ට්‍රම්ප් පාලනයේ සංකේතයක්, එවැනි දැඩි ස්ථාවරයක් දරමින් ඉල්ලා අස් වීම ට්‍රම්ප් පාලනයට දැඩි අවාසි ගෙන එනවා.

එක් පැත්තකින් මේ යුද්ධය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා.

වඩා වැදගත් වශයෙන් ට්‍රම්ප් පාලනය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා.

මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දෙවන ධූර කාලය නිසා එය ඔහුට ගැටලුවක් වන්නේ නැහැ.

2028 න් පසුව ට්‍රම්ප් ගේ දේශපාලනය හුදෙක් ‘ටෘත්’ (Truth social) පණිවිඩ වලට සීමා වේවි.

නමුත් 2025 වන විට ඊලග ඇමෙරිකානු ජනාධිපතිවරයා වීමේ සටනේ ඉදිරියෙන්ම සිටි, ජනතාව බහුතරය වැළඳ ගත් උප ජනාධිපති ජේ. ඩි වාන්ස් වැනි පුද්ගලයෙකුට මේ තත්ත්වය දැඩි අවාසි ගෙන ඒවි.

ඉරාන – ඊශ්‍රායල යුද්ධය තවත් මාස කිහිපයකට ඇදී ගියහොත්, 2028 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂකයා කවුරුන් වූවත් ඔහුට හෝ ඇයට දැඩි වාසි ගෙන දේවි.

– ඉරේෂාන් සිරිවර්ධන –
2026. 03. 18